විශේෂාංග

අංගොඩ ලොක්කාගේ සෙල්ලම් ඉවරයි – කැලණි මිටියාවතේ පාතාලේ සුද්ධය ඇරඹේ

කැලණි මිටියාවතේ පාතාල බලය වෙනුවෙන් කලින් කලට පාතාල කල්ලි මරාගත්හ. ඒ තම කල්ලිවල ආධිපත්‍යය උදෙසාය. වැල්ලම්පිටියේ සිට අවිස්සාවේල්ල දක්වා කලක් වැජඹුණු පාතාල නායකයා වූ කඩුවෙල, රණාලේ සමයංට අවසන් ගමන් යන්නට සිදුවන්නේත් මේ නිසාය. කැලණි මිටියාවතේ බලය උදෙසා සමයංට එරෙහිව හැප්පුණේ අංගොඩ ලොක්කාය. අංගොඩ චීටීගෙන් පාතාලයේ මුල් අත්පොත් තැබූ ලොක්කා කරලියට එන්නේ තම ගුරාවත් ගෝලයා කරගනිමිනි.

පස් සෝදා වැලි විකිණීමේ ජාවාරම, පහත් බිම් ගොඩ කිරී‍ම් ජාවාරම්වලින් කරලියට එන අංගොඩ ලොක්කා සමයං සමග දේශසීමා අරගලයකට එන්නේ කුඩු ජාවාරම නිසාය. ලොක්කාට හයියට සිටියේ අතුරුගිරියේ බාල්දි ප්‍රියන්ත, ලඩියා ඇතුළු කණ්ඩායම්ය. මේ සියලු කල්ලිවලට ප්‍රබල තර්ජනයක් වූයේ රණාලේ සමයංය. සමයං ප්‍රබල වන්නට වූයේ පාතාලයේ ගෝඩ්ෆාදර් වන්නට වෙරදැරූ මාකඳුරේ මධුෂ්ටද අභියෝග කරමිනි.

ඒ නිසාම සමයං අහවර කරන්නට මාකඳුරේ මධුෂ් හා අංගොඩ ලොක්කා එකට එක්වූහ. සමයං අහවර කර කැලණි මිටියාවතේ බලය ගන්නට අංගොඩ ලොක්කාගේ සැලසුම විය. එහි ප්‍රතිඵලයක් ලෙසින් කළුතර එතනමඩලදී සමයං රැගෙන උසාවිය බලා එමින් තිබූ බන්ධනාගාර බස් රථයට වෙඩි තබා සමයං හා ගෝල බාලයන් මරා දැමුණි.

සමයං ඝාතනය කර කැලණි මිටියාවතේ බලය අතට ගත් අංගොඩ ලොක්කා ඝාතනයත් සමග ඉන්දියාවට පැනගත්තේ ලඩියාද රැගෙනය. ඉන්දියාවෙන් ඩුබායිවලට ගෙන්වා ගන්නා බව සමයං ඝාතනයට පෙර මධුෂ් පොරොන්දු වුවත් ලොක්කාට ඉන්දියාවේම රැඳී සිටින්නට සිදුවිණි. හොර පාස්පෝට් නිසා ඉන්දීය පොලිසියට කොටුවූ ලොක්කාට හා ලඩියාට එරට හිරගෙදර තපින්නටද සිදුවිය. හිරෙන් නිදහස් වූ අංගොඩ ලොක්කා ඉන්දියාවේම රැඳී සිටිමින් යළි තම බලය ව්‍යාප්ත කරන්නට වූහ.

ඉන්දියාවේ සිට තම ගෝල බාලයන් මෙහෙයවා කප්පම් ගැනීම්, පස් ජාවාරම්, කුඩු ජාවාරම් ඇතුළු සියලුම නීතිවිරෝධී දෑ කරවන්නට වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස ලොක්කා දිනෙන් දින ධනවතකු විය. කෝටි ගණනින් මුදල් එක්රැස් කරමින් අංගොඩ ලොක්කා සැපවත් ජීවිතයක් ගෙවන්නට විය.

මාකඳුරේ මධුෂ්ව අල්ලා මෙරටට රැගෙන ඒමත් සමග මධුෂ්ගේ පාතාල කල්ලිවල බලයත් ගිලිහී යමින් තිබුණේය. ඒ ඔවුන්ට අණ දුන් නායකයා සමග දුරකථන මගින්වත් සම්බන්ධ වීමට නොහැකි වූ නිසාය. එයින් ප්‍රයෝජන ගත්තේ අංගොඩ ලොක්කාය. අංගොඩ ලොක්කා මධුෂ්ගේ කුඩු ජාවාරමත් අතට ගත්තේය. එයින් නොනැවතී කොළඹ කේන්ද්‍ර කරගත් ෂැංග්‍රිලා ඇතුළු මහා පරිමාණ ඉදිකිරීම් සියල්ලේම පොළොවෙන් හෑරෙන පස් සියල්ල ගෙන ගියේ වැල්ලම්පිටිය, මුල්ලේරියාව, අංගොඩ හා කඩුවෙල පිහිටි ලොක්කාගේම පස් සෝදා වැලි විකුණන තිප්පොළවල්වලටය.

මෙම ජාවාරම දිනෙන් දින මුදල් ගලන උල්පතක් විය. එහිදී ඉතිරි වන පස් පහත් බිම්වලට දමා ඒවාද ගොඩකර දැමුණි. කැලණි මිටියාවතේ සරුසාරවත් වගුරු බිම් ගොඩ කිරීම තහනම් වූයේද ගංවතුර තත්ත්වයකදී පිටාර ජලය බැස යාමට මේවා වෙන්කර තිබූ නිසාය. නමුත් ලොක්කා ඉන්දියාවේ සිට නියෝග දෙමින් කැලණිමුල්ල, අංගොඩ, මුල්ලේරියාව ඇතුළු පහත් බිම් ගොඩකරන්නට විය. ඒවායේ හිමිකරුවන් බිය වද්දා ඉඩමම පුරවා දමා විකුණා දමන්නේ පර්චසයක් ලක්ෂ දහයක් වැනි මිලකටය. ලොරිවලින් රැගෙන එන කුණු හා වැලි සෝදා ඉවත් කරන ගල් වගුරු බිම් මත පුරවා ඒ මතින් පස් දමා විකුණා දැමීම මොවුන්ගේ ජාවාරමය. ඉඩම් මිලදී ගන්නට ව්‍යාපාරිකයන් සොයාගන්නේත් අංගොඩ ලොක්කාමය. ගනුදෙනුව ඉන්දියාවේ සිට මෙහෙයවා කෝටි ගණනක් තමා දෙන ගිණුම්වලට දමාගෙන ඉඩම් හිමිකරුවන්ට සොච්චමක් දීම ලොක්කාගේ පුරුද්දය.

ලොක්කාගේ මෙකී බලහත්කාරී ජාවාරමට එරෙහි වන්නන්ට ලොක්කා සලකන්නේ මැර ප්‍රහාර හෝ මරණය අත්කර දෙමින්ය. ලොක්කාගේ සිටින මැරවරයෝ ඒ වෙනුවෙන් කැපවී සිටිති. වරෙක ගංවතුර ගලා ප්‍රදේශ යටවූ මොහොතේ එයට හේතුව අංගොඩ ලොක්කා වගුරු බිම් වනසමින් කරන අපරාධය බව ගම්මු එළිපිට කියන්නට වූහ. එය සැලවූ සැණින් තමාට එරෙහිව කතා කළ ගම්මුන්ගේ අතපය කඩා දමන්නේද ලොක්කාගේ අනින්ය. අතපය කඩා දැමූ අය අතර කාන්තාවෝ පවා සිටියහ. තම ගම්බිම් රැක ගන්නට කතා කළ ගම්මුන්ගේ අතපය කඩා දමමින් පාතාල බලයෙන් වගුරු බිම් කණපිට හරවද්දී නීතිය ක්‍රියාත්මක කළ යුතු මුල්ලේරියාව පොලිස් වසමේ නිලධාරීන් සිටියේ නිදියාගත් අය ලෙසින්ය.

අංගොඩ ලොක්කා කැලණි මිටියාවතේ බලය පතුරුවන අතරේ අතුරුගිරියේ වගුරු බිමකට අත තැබීය. එය පුරවන්නට බල කළේ මීපේ පස් සුමේධ නමැති හිර ගෙදරදී හඳුනාගත් පස් ව්‍යාපාරිකයකුටය. හංවැල්ල පොලිස් වසමේ පදිංචිව සිටි පස් සුමේධට බලෙන්ම අතුරුගිරියේ ඉඩම පුරවන්නැයි ලොක්කා අණ දුන්නේය. ලොක්කාගෙන් බේරෙන්නට පස් පුරවන්නට ගත් සුමේධගේ ලොරි හා රියැදුරන් අතුරුගිරිය පොලිසිය ඇල්ලීමත් සමග සුමේධ එය අත්හැරියේය. නමුත් ලොක්කා ඉන්දියාවේ සිට වහාම තම නියෝගය ක්‍රියාත්මක කරන්නැයි සුමේධට බැණ වැදුණේය. ලොක්කා සමග උරන වූ ඔහු පුළුවන් දෙයක් කරන්නැයි ඔහුට කීවේය. දෙදෙනාගේ වාග් ප්‍රහාර අවසන් නින්ද දක්වා දුරදිග යන්නේ ඉකුත් අගෝස්තු 25දාය. හංවැල්ල, පහත්ගම පිහිටි සුමේධගේ නිවසට අවි ආයුධවලින් සන්නද්ධව පැමිණි ලොක්කාගේ ගෝලයන් සුමේධගේ බිරිඳ හා දරුවන් තම ග්‍රහණයට ගෙන සුමේධව එතැනට ගෙන්වා මරා දැමීය. සුමේධ හෙවත් විජිත ප්‍රේමලාල් හා ඔහුගේ ගෝලයා වූ රවිඳු ලක්ෂාන් එක තැනම මරා දමන්නේ අංගොඩ ලොක්කා ඉන්දියාවේ සිට දුන් නියෝග මතය.

සුමේධ පෑලියගොඩ ඉදිවන වෙළෙඳ සංකීර්ණයට හා මහනුවර අධිවේගී මාර්ගයට පස් ලොරි 8000ක් සැපයීමේ කොන්ත්‍රාත්තුවද භාරගෙන සිටි අයෙකි. ලොක්කා එම කොන්ත්‍රාත්තුව තමාට දෙන ලෙසද සුමේධට තර්ජනය කර තිබුණේය. ඒ සියල්ල විසඳුණේ ලොක්කාට එරෙහි වූ සුමේධව අඩි හයක් පොළොව යටට යවමින්ය.

පස් සුමේධ ඝාතනය කළ පසු අංගොඩ ලොක්කා තවත් රට හොල්ලන වැඩකට අත ගැසුවේය. ඒ ඌරුබොක්ක, බෙරලපනාතර සමුපකාර සමිතියේ අධ්‍යක්ෂවරයකු වූ සුරංග ලක්මාල් නමැති කෝටිපති ව්‍යාපාරිකයාට අංක තහඩු නැති සුදු වෑන් දෙකක් යොදා පැහැර ගනිමිනි. ඒ පසුගිය සැප්තැම්බර් 19දාය. ඔහු වැල්ලවත්තෙන් මිලදීගත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම තමාගේ නමට ලියන්නැයි අංගොඩ ලොක්කා දුන් නියෝගයකට අකමැති වීම හේතුවෙන් මෙම පැහැර ගැනීම සිදුවිණි. නමුත් ඌරුබොක්ක පොලිසිය කොට්ටාව පොලිස් වසමේදී පැහැරගත් ව්‍යාපාරිකයාව මුදා ගැනීමත් සමග අංගොඩ ලොක්කාගේ වෑයම ව්‍යර්ථ විය.

එම සිද්ධියෙන් පසුව අංගොඩ ලොක්කා කරලියට එන්නේ පහත් බිම් බලහත්කාරයෙන් ගොඩකර විකුණන ජාවාරමත් සමගය. ජනාධිපතිවරණයට පෙර සිටම ඇරඹි මෙම ජාවාරම නිසා ප්‍රදේශවාසීහු බියෙන් තැතිගෙන සිටියහ. ඔවුන්ගේ ඉඩම් රැසක් අංගොඩ ලොක්කා බලෙන් අත්පත් කරගෙන සිටියේය.

බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ යටතේ වූ පොලිස් වසම්වලින් අංගොඩ ලොක්කා ගැන ක්‍රියාත්මක නොවුණු බවට චෝදනා එල්ල වූ නිසා අංගොඩ ලොක්කාගේ පාතාලය මර්දනය කරන්නට පොලිසියේ බල ප්‍රදේශ පසුකර බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යටතේ වූ කණ්ඩායමට බලය පැවරුණි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ පාතාල මර්දන ඒකකය ආරම්භ කරන්නට පොලිස් අධිකාරිවරයකු ලෙසින් පුරෝගාමී වූ වරුණ ජයසුන්දර පසුගිය රජය සමයේ ඉන් ඉවත් කර මොනරාගල, බදුල්ල භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර යවා තිබිණි. එහෙත් ඔහු එම ප්‍රදේශවලට ගියද සිය රාජකාරිය අතහැර දැමුවේ නැත.

දේශපාලන බලයට බියෙන් ජාවාරම්කරුවන්ට හිස ඔසවන්නට ඉඩදී සිටි පොලිස් නිලධාරීන්ට කොන්ද පණ ඇතිව වැඩ කිරීමට නියෝග දුන් ඔහු දේශපාලන ආධාරකරුවන් සමග ගංජා හේන් හැට ගණනක්, වැලි ටිපර් 23ක් අල්ලා ගන්නට නායකත්වය දුන්නේය. මේ අතරේද බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති ලෙස පෑලියගොඩට පැමිණි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර සොයා ඔත්තුකරුවන් එන්නේ අංගොඩ ලොක්කාගේ ජාවාරම ගැන කියන්නටය.

වහාම ඔහු තමා යටතේ වූ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් අංගොඩ ලොක්කාගේ අණසක ඇති ප්‍රදේශයට යවන්නේ ඉකුත් දෙසැම්බර් 20දා සිටය. එතැන් පටන් සොයාගත් තොරතුරු මත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අවසරය මත බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පතිගේ බල ප්‍රදේශයට කඩා වැදී පාතාලය මර්දනය කරන්නට පටන් ගත්තේ පොලිසියට කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්නට ආදර්ශයක් දෙමිනි.

මුල්ලේරියාව, සැළලිහිණි මාවතේ වගුරු බිමක අක්කර තුනක් ගොඩ කරමින් තිබූ අංගොඩ ලොක්කාගේ ගෝල බාලයන් සමග බැකෝ යන්ත්‍රයක්ද අත්අඩංගුවට ගත්තේය.

අංගොඩ ලොක්කාගේ අණසක පැතිරවූ ගෝල බාලයන් සොයා ඇරඹි මෙහෙයුමත් සමග ජනතාවගෙන් තොරතුරු ගලා එන්නට විය. මින් පසුව නයගාර හෝටලය පසුපස වගුරු බිමේ කළ ජාවාරමක්ද හෙළිකර ගැනීමට පොලිසිය සමත් විය. වගුරු බිමෙන් ගොඩ ගන්නා වැලි කියුබය රුපියල් දාහත් දහසට විකුණද්දී එයට කුණු ගෙන දමා පස් පුරවා පර්චසය ලක්ෂ දහය බැගින් විකිණීමටද අංගොඩ ලොක්කා ගෝල බාලයන් යොදවා තිබිණි.

මේ සමග ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ නියෝග මත මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ඇතුළුව ඊට වගකිවයුතු පොලිස් ලොක්කන් කැඳවා කරුණු විමසා තිබුණේ අංගොඩ ලොක්කා බලෙන් ඉඩම් ගොඩ කරද්දී ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළේ මන්දැයි විමසමිනි. මේ පොලිස් ස්ථාන නීතිය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් නියෝජ්‍ය​ පොලිස්පති වරුණ ජයසුන්දරට වැල්ලම්පිටියේ සිට අවිස්සාවේල්ල දක්වා පාතාලයේ ක්‍රියා මර්දනය කරන්නට භාරදී තිබේ. අවිස්සාවේල්ලේ ව්‍යාපාරිකයන් බියවද්දවා රුපියල් ලක්ෂ පහේ සිට ලක්ෂ දහය දක්වා කප්පම් එකතු කරන අංගොඩ ලොක්කාගේ ගෝලයකු වූ තල්දූවේ රමේෂ්ගේ කල්ලිය ගැන මෙතෙක් පොලිසියේ ඇස නොගැටුනු කප්පම් ජාවාරමක්ද මෙහිදී හෙළි විය. තල්දූව ආශ්‍රිතව මැණික් ව්‍යාපාරිකයන් බියවද්දවා මැණික් ඉඩම් අල්ලන්නටද අංගොඩ ලොක්කා යොදා තිබී ඇත්තේ රමේෂ්වය. 2018 ඔක්තෝබරයේ සිදුකළ මිනීමැරුමකට ඇප මත සිටින රමේෂ්ගේ කල්ලිය සොයා මෙහෙයුම් ඇරඹෙන්නේ මින් පසුවය.

නීතිය පසෙකලා පාතාලයට හිස ඔසවන්නට ඉඩ දී සිටින පොලිස් නිලධාරීන්ට උණ ගැනෙන්නට පාතාල කල්ලි සොයන මෙහෙයුමකට නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අතගසා ඇත. ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සිට සාමාන්‍ය පොලිස් සේවයට පැමිණි තරුණ ජවය ඇති කණ්ඩායම්ද දැන් එකතු කර තිබේ. වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නද එම මෙහෙයුම්වලට අවසර දී තිබේ.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා